Naifm

Sri Lanka's Number.01 News Website

බොහෝ දෙනා අසා නැති නැටුම් වසංගතය

ලෝකයේ විවිධාකාර වසංගතයන් කාලෙන් කාලෙට එනවා. අපි මේ දැනුත් එයින් එකක් සමඟ සටන් කරමින් සිටින අතරතුරේ, තරමක් විශ්වාස කිරීමට අපහසු, පුදුම සහගත වසංගතයක් ගැන ඔබට කියන්න අපි සිතුවා. මේ වසංගතයට කියන්නේ නැටුම් වසංගතය කියලා.(Dancing plague /Dance epidemic) මේ නැටුම් වසංගතය 1518 ජූලි මාසයේදී ශුද්ධ රෝම අධිරාජ්‍යයේ ඇල්සාස් හි (වර්තමාන ප්‍රංශයේ ) ස්ට්‍රාස්බර්ග්හි සිදු වූ නැටුම් උමතුවක්‌. එහි දී මිනිසුන් 400කට අධික පිරිසක් නොනවත්වා නර්තනයෙහි යෙදුණු අතර එයින් බොහොමයක් දෙනා මාසයක් ඇතුළත දී අධික වෙහෙස හෝ හෘදයාබාධය නිසා මැරී වැටුනා.

වසංගතය ආරම්භ වුණේ 1518 ජූලි මාසයේදී ෆ්‍රෝ ට්‍රොෆියා නම් කාන්තාවක් ස්ට්‍රාස්බර්ග් හි මහමග එක්වරම නටන්නට පටන් ගැනීමත් සමගයි. ඇය මේ ආකාරයට දවස් හතරක්, හයක් පමණ නර්තනයේ යෙදුනා. සතියක් ගත වෙන විට ඇයට තවත් මිනිසුන් 34 දෙනෙක් එකතු වූ අතර මාසයක් ගතවන විට මිනිසුන් 400 දෙනෙක් මෙම රෝගයට ගොදුරු මහමග නර්තනයේ යෙදෙමින් සිටින සිටියා. එයින් වැඩිහරියක් කාන්තාවන්.

මෙසේ නර්තනයේ යෙදුන මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් හර්දයාබාද හෝ අධික වෙහෙස නිසා නටමින් සිටින අතරතුරදීම මිය ගියා. එක් වාර්තාවකට අනුව මෙම වසංගතය නිසා දිනකට මිනිසුන් 15 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. කෙසේ නමුත් එකල ස්ට්‍රස්බර්ග් නගර වාර්තාවල කිසිදු මරණයක් ගැන සඳහන් වී නොතිබීම පුදුමයක්. වෛද්‍යවරුන්ගේ වාර්තා, පල්ලියේ වාර්තා, ප්‍රාදේශීය ජනප්‍රවාද සහ ස්ට්‍රස්බර්ග් නගර කවුන්සිලයෙන් නිකුත් කළ දැන්වීම් ආදී ඓතිහාසික ලියවිලි වල පවා රෝගීන් නර්තනයේ යෙදුණු බව සඳහන් වී තිබෙනවා. කෙසේ නමුත් ඔවුන් මෙසේ මරණය තෙක්ම නර්තනයේ යෙදීමට හේතුව ඒවායේ සඳහන් වී නැහැ.

වසංගතය උග්‍ර අතට හැරීමත් සමඟ කලබල වූ වංශවතුන් ජෝතිෂ්‍ය විශ්වාසයන් පිළිනොගත් දේශීය වෛද්‍යවරුන්ගේ උපදෙස් පැතුවා. ඒ අනුව එම වෛද්‍යවරුන් පැවසුවේ එය උණුසුම් රුධිරය නිසා හට ගන්නා ස්වභාවික රෝගයක් බවයි. කෙසේ නමුත් එකල සිටි බලධාරීන් මෙයට පිළියමක් සොයනවා වෙනුවට රෝගයට ගොදුරු වූ තැනැත්තන්ව තවදුරටත් නැටීමට උනන්දු කළා. ඔවුන් විසින් නගර ශාලා දෙකක් සහ ධාන්‍ය වෙළඳපොළක් නටන පුද්ගලයන් වෙනුවෙන් විවෘත කර එහි ලී වේදිකාවක්ද නිර්මාණය කලා. ඔවුන් එසේ කළේ, මෙම රෝගය සුව වන්නේ ඔවුන් විසින් දිවා රෑ නොබලා එක දිගටම නර්තනයේ යෙදුණොත් පමණක් බව විශ්වාස කළ නිසයි. මේ නිසා ඔවුන් නර්තනය වඩාත් හොඳින් දිගටම කෙරීගෙන යාම සඳහා වේදිකා පමණක් නොව මුදල් ගෙවා සංගීතඥයන් පවා යොදවා තිබුණා.

නමුත් බලධාරීන්ගෙන් මේ අනුවණ විශ්වාසය මත සිදු කළ ක්‍රියාව නිසා රෝගය පැතිරීම වඩා ඉක්මන් වුණා. පොදු ස්ථානවල එම මිනිසුන්ට නර්තනයේ යෙදීමට ඉඩ හැරීමෙන් ඒ වන විට රෝගයට ගොදුරු නොවී සිටි පුද්ගලයන්ට පවා රෝගය බෝ වුනා. බලධාරීන්ගෙන් උපක්‍රමය ක්‍රියාත්මක කර සුළු කාලයකින්ම රෝගය වඩාත් උත්සන්න වුණා.කෙසේ නමුත් වසර සිය ගණනකට පෙර මෙම රෝගයට ගොදුරු වූවන් නර්තනයේ යෙදීම නිසා එක දිගට සිදු කළ ව්‍යායාමයන් වර්තමානයේදී පුහුණු මැරතන් ක්‍රීඩකයෙකුට පවා දැරිය නොහැකි වෙහෙසක් බව ඉතිහාසඥ ජෝන් වොලර් පවසා තිබුණා.

මෙම වසංගතයට හේතුව පිළිබඳව ඇති නූතන න්‍යායන් අතරට, පාන් පිලිස්සීම සඳහා බහුලව භාවිතා කරන රයි වැනි ධාන්‍ය වර්ග වල බොහෝ විට වර්ධනය වන එර්ගෝට් නම් දිලීරයේ අඩංගු මනෝ ක්‍රියාකාරී විෂ හේතු විය හැකි බව විශ්වාස කරනවා.එර්ගොටමයින් යනු එර්ගෝට් දිලීර වල ඇති ප්‍රධාන මනෝ ක්‍රියාකාරී නිෂ්පාදනයයි; එය ව්‍යුහාත්මකව ලයිසර්ජික් අම්ලය ඩයිතිලමයිඩ් (LSD -25) වලට සමාන වන අතර LSD -25 මුලින් සංස්ලේෂණය කරන ලද්දේත් එර්ගොටමයින් වලින්මයි.

කෙසේ නමුත් ඉතිහාසඥ ජෝන් වොලර් මෙම න්‍යාය පිළිගන්නේ නැහැ. ඔහුට අනුව එම විෂ නිසා මිනිසුන් දින ගණනක් නොනවත්වා නර්තනයේ යෙදීම සිදුවිය නොහැක්කක් වන අතර එම රසායනිකය සියලුම මිනිසුන් තුල එකම ආකාරයෙන් ක්‍රියාත්මක වීමද විය නොහැක්කක්‌. ඒ වගේම රයින් සහ මොසෙල් ගංගා ආශ්‍රිතව, ජලය නිසා එකිනෙකා හා සම්බන්ධ වී ඇති නමුත් වෙනස් දේශගුණික තත්ත්වයන් හා වෙනස් භෝග ඇති තැන් වල රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වීමට හේතුව පැහැදිලි කිරීමටද එර්ගොටිසම් න්‍යාය අසමත් වෙනවා.

වොලර් අනුමාන කරන්නේ මෙය ආතතිය සහ මිනිසුන්ගේ මානසික තත්වයන් නිසා සිදුවූවක් බවයි. ඊට හේතුව මෙම රෝගීන් වාර්තා වූ සෑම ප්‍රදේශයකම වාගේ ජීවත් වුණේ ඉතාම දිළිඳු, කුසගින්නෙන් සහ රෝග වලින් පීඩා විඳි, මිථ්‍යා විශ්වාසයන්ට බර වුනු මිනිසුන් වීම නිසයි.
මෙය සමූහ හිස්ටීරියාව (Mass hysteria) වැනි මිනිසුන් විශාල කොටසකට එක්වර වැළඳෙන මානසික රෝග වලදී සිදුවන “මනෝවිද්‍යාත්මක චලන ආබාධ” (psychogenic movement disorder) සඳහා ඉතා හොඳ උදාහරණයක් විය හැකියි. එවන් රෝගවලදී බොහෝ පුද්ගලයින් (මිනිසුන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් විය හැකි කණ්ඩායම් වුවත්) හදිසියේම එකම උමතු හැසිරීම ප්‍රදර්ශනය කරනවා.

මිනිස්සු බොහෝ දෙනෙක් හිස්ටීරියා වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීම නිසා එය වසංගතයක් මෙන් පෙනෙන අතර මේ සඳහා බොහෝ විට ගොදුරු වන්නේ විවිධ මානසික පීඩනයන් සහ ආතතියෙන් පෙළෙන වැඩිහිටි කාන්තාවන් වීම විශේෂයි.කෙසේ නමුත් එම න්‍යායත් සියලු දෙනාම පිළිගන්නේ නැහැ. එයට හේතුව වර්තමානයේදීත් අධික දිළිඳු කමින්, කුසගින්නෙන් හා රෝග වලින් පෙළෙන රටවල් බොහොමයක් තිබුනත්, තවමත් ඒවායින් සමූහ වශයෙන් ගොදුරු වූ මානසික රෝගයක් ගැන වාර්තා වී නොමැති නිසයි. මේ නිසා කොතරම් විද්‍යාව හා වෛද්‍ය තාක්ෂණය දියුණු වුණත් අදටත් මෙම නැටුම් වසංගතයට හේතුවක් සොයා ගැනීමට හැකි වී නැහැ.