clomid pct for sale prescription xenical online whats the side effects of viagra what does viagra pill look like

Naifm

Sri Lanka's Number.01 News Website

කළුතර බෝධීන් වහන්සේ සුද්දන්ගෙන් බේරාගත් හැටි

වර්තමානයෙහි සැදැහැවත් බෞද්ධ ජනතාව අතරේ ඉමහත් සේ වන්දනාවට පාත්‍රව තිඛෙන කළුතර බෝධීන් වහන්සේ සහ බෝධි ස්‌ථානය වත්මන් දියුණු තත්ත්වයකට පත් වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරීන්ගෙන් එය බේරා ගැනීමට අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළ බෞද්ධ උපාසක ඇත්තන් ගේ සහ භික්‍ෂුන් වහන්සේගේ කැපවීම හේතුකොට ගෙනයි. දහනව වැනි සියවසේදී වත්මන් දුම්රිය මග තැනවීමට මෙම බෝධීන් වහන්සේ විනාශ කළේ නම් මේ සා මහත් ප්‍රසිද්ධියක්‌ අද නොලැඛෙන්නේමය. එම නිසා මෙම අරගලයේ කතාව නිරන්තරයෙන්ම සිහිපත් කළ යුතු වෙයි.

කළුගග ආසන්නයේ තිඛෙන ඓතිහාසික දියගම සෙල් ලිපියේ සඳහන් මහ කලක විහාරය කුමක්‌ දැයි තවමත් හඳුනාගෙන නොමැත. ක්‍රි. ව. දෙවැනි සියවසට අයත් එම ලිපියේ සඳහන් විහාරය කලක්‌ මෙම ප්‍රදේශයේ පූජනීය විහාරස්‌ථානයක්‌ව පවතින්නට ඇතිවාට නිසැකය. පරෙවි සංදේශ වර්ණනාවේ සහ තිසර සංදේශ වර්ණනාවේ සඳහන් ගංගාතිලක විහාරය ද කළු ගග ආසන්නයේම පිහිටා තිබිණි. එය එකල මුහුදේ යාත්‍රා කරන නාවිකයන්ටද මග පෙන්වන්නක්‌ විය. නමුත් වියරු වැටුණු පෘතුගීසි, සෙබළුන් අතින් මේ ස්‌ථානය විනාශ වෙයි. එහි පැවැති නටබුන් කුමක්‌දැයි අපට අද පැහැදිලි කළ නොහැකිය. ඊට හේතුව බ්‍රිතාන්‍ය යුගයෙන් පසුව මේ ස්‌ථානය කළුතර බෝධියට භාර දෙන කල්හි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ තැන කිසිම පරීක්‍ෂණයක්‌ කර නොතිබීමයි.
නමුත් පෝල් ඊ. පීරිස්‌ මහතා මේ ස්‌ථානය නොහොත් ගංගාතිලක විහාරය පිළිබඳව සටහන් වූ සන්නසක්‌ ගැන සිය පෝචුගීස්‌ ඊරා ග්‍රන්ථයේ කරන සඳහන අපට ඉතා වැදගත් ය. ලන්දේසීන්ගේ පිටත්වීමෙන් පසුව බ්‍රිතාන්‍යයන් මෙම ස්‌ථානය භාවිත කරන ලද්දේ සිය පරිපාලන කටයුතු සඳහා පමණි. එහිදී සිය ආදායම් පාලක නිලධාරිවරයා නැවත්වීමට ද කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන කච්චේරිය පවත්වා ගැනීමට ද මෙම ස්‌ථානය ඉවහල් විය.

වර්ෂ 1909 දී කළුතර උප ඒජන්ත පදවියට පත්ව ආයේ ජී. ඒ. ප්ලාන්ට්‌ නම් නිලධාරියෙකි. ඔහුගේ භාර්යාවට පහළ බෝධියේ කෙරෙන බෞද්ධ වැඳුම් පිදුම් කිසිසේත්ම ඉහිළුම් නොදුනි. දැඩි ක්‍රිස්‌තියානි භක්‌තික කාන්තාවක්‌ වූ ඇය සිය ස්‌වාමි පුරුෂයා ලවා මේ බෝධිය වට කර කණු සිටුවා ලෑලි ගසා අසුරා දැමූයේ කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි වන පරිද්දෙනි. මේ අවහිරකම් දිගින් දිගටම පැවතුණ ද 1915 න් පසුව තත්ත්වය තරමක්‌ දුරට සමහන් විය. මුස්‌ලිම් කෝලාහලයෙන් පසුව පත්ව පැමිණි ජෝන් ඇන්ඩර්සන් ආණ්‌ඩුකාරවරයා සිය පුරෝගාමීන් මෙන් දැඩි පාලන ස්‌වරූපයක්‌ අනුගමනය නොකරන ලද්දේ ජනයා කුපිත වී පාලනය අවුල් කිරීමට කටයුතු කරාවි යන බිය හේතු කොට ගෙනය.

මේ අවස්‌ථාවේදී කළුතර බෝධියටද වැඳුම් පිදුම් කිරීමට බාධාවක්‌ නොවීය. මේ අවදියේදී පොලිස්‌ සේවයෙන් විශ්‍රාම ලැබූ ගම්මන්පිල නම් උපාසක මහතකු බෝධිය සමීපයට පැමිණ මළුව අතුපතු ගා තෙල් පහන් පූජා කොට ආගමික වතාවත්වල යෙදුණේය. එදා බෝ මළුව වශයෙන් තිබුණේ ඉතා කුඩා බිම් ප්‍රමාණයක්‌ පමණි. එහි පැරැණි සීමාව අදත් පහසුවෙන් දැක ගත හැකිය. නැගෙනහිරෙන් මහ පාර ද බස්‌නාහිරෙන් රේල් පාර ද විය. බෝධියට උතුරෙන් තිබූ පඩිපෙළ එහි උතුරු සීමාවේය. බෝ මළුවට ඇතුල්වන ප්‍රධාන දොරටුවට දකුණින් තිබු දෙවැනි ලාම්පු කණුව කෙළින් රේල් පාර දෙසට දකුණු මායිම් විය. මේ සීමාව දිගේ වටේට කබුක්‌ ගල් තබා ලීයෙන් සෑදූ වැටක්‌ තිබිණි.

1912 නොවැම්බර් මාසයේ 25 වනදා කළුතර අලුත් දුම්රිය පාලම විවෘත විය. බෝධියේ අතු දුම්රිය ගමනාගමනයට බාධාවක්‌ බැවින් විසිවන සියවසේ දෙවන දශකයේ මැද භාගයේ දිනයක රාත්‍රි කාලයේදී පැමිණි කම්කරු පිරිසක්‌ විසින් බෝ අතු දෙකක්‌ කපා දුම්රියේම පටවා ගෙන යන ලදී. මේ තත්ත්වය මෙසේ වුවද ගම්මන්පිළ උපාසක මහතාගේ ක්‍රියාව ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට හේතු විය. කළුතර නගර සභාවේ සේවයේ නියුතුව සිටි ලෝරන්ස්‌ අගලවත්ත නම් මහතකු බෝධීන් වහන්සේ අවට ප්‍රාකාරය බැඳවීමට ඉදිරිපත්ව ප්‍රභූවරුන්ගේ ද සහාය ඇතිව දුම්රිය දෙපාර්තමේන්තුවේද ආධාර මුදලකින් වැඩ ආරම්භ කරන ලද්දේ එවකට කළුතර සිරිනිවාසාරාමාධිපතිව වැඩ විසූ අති පූජ්‍ය ඉඳුරුවේ අත්ථදස්‌සී මේධංකර නායක ස්‌වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනි.

මෙය තාප්ප බැම්මකි. පොල් කොහු සහ මැටි මිශ්‍ර කරමින් තැනූවකි. නමුත් මේ කටයුත්ත කරගෙන යන අතර ඒ මහතා හදිසි අනතුරකින් කාලක්‍රියා කළේය.1921 වර්ෂයේදී පමණ නීතිඥයකු වශයෙන් කළුතරට පැමිණි සිරිල් ද සොයිසා මහතා අපරාධ නඩු සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලු කෙනෙකි. නීතිඥ වෘත්තියේ වැඩි කාලයක්‌ රැඳී සිටීමට කල්පනා නොකළ ඒ මහතා මුහුදුබඩ ගාලු පාරේ ධාවනය කළ හැකි වන පරිදි බස්‌ සේවයක්‌ ඇරඹීය. කළුතර බෝධිය පසු කර යනෙන සෑම විටම බස්‌ මගීන්ගෙන් සම්මාදම් ලබා ගෙන බෝධියේ පිං කැටවලට දැමීමට බස්‌ සේවකයන්ට අණ කිරීම නිසා බෝධියට ලැඛෙන ආදායම දිනෙන් දින වැඩි විය.

අනතුරුව සිරිල් ද සොයිසා මහතාගේ මැදිහත්වීමෙන් 1931 වර්ෂයේදී පමණ බෝමළුව වටා තාප්පයක්‌ බැඳුණි. තාප්පයේ තැනින් තැන විදුලි ආලෝක බුබුලු ද සවි විණි. බෝධිය වටා නව තාප්පයක්‌ ද බැඳ මල් අසුන් ද සාදා ඒ මල් අසුන් හි කුඩා බුදුජ්පිළිම ද කරවීය. මේ සඳහා පානදුර දියෙස්‌ මැතිනියගේද ආධාර උපකාර ලැබිණි. බෝධියේ ජනප්‍රියතාව වැඩිවත්ම බැතිමතුන්ට වැඳ පුදා ගැනීමට පිළිම ගෙයක අවශ්‍යතාව මතුවන්නට විය. නමුත් මේ සඳහා ඉඩ කඩද නොවීය. ඒ තත්ත්වය මත පැරැණි බළකොටුවේ අටල්ල පැවැති කොටසේ ගං ඉවුරට වන්නට කලුගලින් තාප්පයක්‌ බැඳ පොළොව ගොඩ කොට කුඩා විහාරයක්‌ ඉදිවුණි. නේත්‍රා තැබීමේ පිංකම 1941 පොසොන් මාසයේදී සිදුවුණි.

සිරිල් ද සොයිසා මහතා කළුතර නගරයේ සභාපතිව සිටීම නිසා මේ සංවර්ධන කටයුතුවලට මහත් පිටුබලයක්‌ ඇතිවිණ. නගර සභාවට අයත්ව තිබූ බෝ මළුවට දකුණින් තිබූ බිම් කොටස මෙතුමාගේ පරිශ්‍රමය නිසා බෝධියට ලබා ගැනීම සිදු විය. අනතුරුව මේ ස්‌ථානයේ කුඩා ස්‌ථූපයක්‌ සෑදීම ආරම්භ විය. යුද්ධ කාලය නිසා එයට අවශ්‍ය සිමෙන්ති ලබා ගැනීම දුෂ්කර කාරණයක්‌ විය. එම කටයුත්ත කළ හැකිව තිබුනේ උප ඒජන්ත තැනගේ විධිමත් අවසර පත්‍රයක්‌ ලද කෙනකුට පමණි. ස්‌ථූපය ගොඩ නැගීමට අවශ්‍ය සිමෙන්ති කෙසේ හෝ ලබා ගැනීමට සොයිසා මහතාට හැකි විය. මේ සිමෙන්ති නගර සභා කාර්යාලයේ ගබඩා කොට තිබිණි.

මෙවකට කළුතර දිසාපතිවරයාව සිටියේ පී. ඡේ. හඩ්සන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහු සොයිසා මහතාගේ ක්‍රියා කලාපයට මහත් සේ නොරිස්‌සුම් සහගතව සිටියේය. මේ ආරංචිය දැන ගත් ඔහු නගර සභාවට පැමිණ එය සීල් තබා ගියේය. අනතුරුව සිරිල් ද සොයිසා මහතාට එරෙහිව නඩු පැවරීම පිණිස ඇටෝර්නි ජනරාල්වරයාගේ අවසරය ඉල්ලා ඇරියේය. එවකට ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රමය යටතේ නීති ලේකම්ව සිටියේ එම්. ඩබ්. එච්. ද සිල්වා මහතා ය. ඔහු මේ කාරණය පසෙක තැබීය. හඩ්සන් පරාජය විය.

චෛත්‍යයේ වැඩ අවසන්ව කොත් පළඳවන උත්සවය පැමිණියේය. උත්සව දිනයේ දී දස දහස්‌ ගණනක්‌ සෙනඟ මෙම භූමියට රැස්‌විණි. මේ මහා ජන ගංගාව දුටු සුදු දිසාපතිවරයා තව තවත් කිපුණේය. ඔහු වහා පොලිස්‌ බළ ඇණියක්‌ ගෙන්වා එහි රැස්‌ව සිටි අහිංසක මිනිසුන් පළවා හැරියේය. දිසාපතිවරයාගේ මේ ක්‍රියාව නිසා චිත්ත වේගයෙන් වෙව්ලමින් සිටි සොයිසා මහතා කොත් පැළඳවීම අවසානයේ මහජනයා අමතා මෙසේ පැවැසීය.

තමුන්නාන්සේලාගේ මුදලින් වැටුප් ලබා ගෙන අර කන්ද මුදුනේ ඉන්නා පර සුද්දා කළ නින්දිත ක්‍රියාව තමුන්නාන්සේලා දැක්‌කා නේද. බෞද්ධ බලය කුමක්‌ද කියා ඔහු දන්නේ නැහැ. ඔවුන්ට බය වෙලා අපේ ආගමේ වැඩ කරන්නට බැහැ. තමුන්නාන්සේලා ඉදිරියේ මම එකක්‌ කියන්නම්. ඔය පර සුද්දා තව පැය හතළිස්‌ අටක්‌ ඇතුළත මේ ස්‌ථානයෙන් පන්නා දමනවා දමනවාමයි.

පැමිණ සිටි ජනයා සාධු නාද පැවැත්වූහ. පසුදා හිමිදිරියෙන්ම බෝධියට ඛෙර වාදකයන් හතළිහක්‌ පමණ පැමිණ පෝය හේවිසි ගැසූහ. ඒ ඛෙර හඩ බඹ ලොව දක්‌වා ඇසෙන තරම් විය. විනාඩි කීපයකට පසුව වහාම මේ හේවිසිය නවත්වන ලෙස ආරච්චිල අත පණිවිඩයක්‌ එවීමට දිසාපති කටයුතු කළේය. නමුත් එය නැවතුණේ නැත. දිසාපතිවරයා එදින හවස්‌ වරුවේම බංගලාවෙන් නික්‌ම යන්නට ගියේය.

දිසාපති මැඳුර බෞද්ධයන්ට ලබා ගැනීම පිණිස ඉඳුරුවේ අත්ථදස්‌සී හිමියන්ගේ ශිෂ්‍යවර එවකට කළුතර සිරිනිවාසාරාමයේ වැඩ සිටි අතිපූජ්‍ය හැඩිගල්ලේ විපුලසිරි ස්‌වාමීන් වහන්සේ 1937 අප්‍රියෙල් 21 දාතමින් යුතුව අයෑම්පත්‍රයක්‌ ලංකාණ්‌ඩුකාරතුමාට ඉදිරිපත් කළේය. මේ ඉල්ලීමට අනුමැතිය නොලැබිණි. එයින් පසුබට නොවූ උන්වහන්සේ යළිත් යුද්ධ සමයෙන් පසුව සමිති සමාගම්වල අනුබලයත් ඇතිව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ද ඉහත කී අයදුම් පත්‍රය ඉදිරිපත් කරන ලදී. එවකට කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි ඩී. එස්‌. සේනානායක මහතා 1944 ජුනි 19 දින දරන ලිපියෙන් දන්වා සිටියේ ඒජන්ත බංගලාව අස්‌ කරන දිනයක එම ඉල්ලීම සලකා බලන බවයි.

එයින්ද තෘප්තියට නොපැමිණි විපුලසිරි හිමියන් 1945 සැප්තැම්බර් මස 25 දාතමින් ලංකාණ්‌ඩුකාර තැනගේ මාර්ගයෙන් යටත් විජිත ලේකම්තුමාට අයෑදුම් පත්‍රයක්‌ ඉදිරිපත් කළේය. මෙයට එවන ලද පිළිතුර මෙසේය.ගරු ස්‌වාමීනි, 1945 සැප්තැම්බර්ජ්මස 25 දින දරන යටත් විජිත මහ ලේකම් තුමා වෙත යවන ලද පෙත්සමට මා වෙත දන්වා තිඛෙන්නේ කළුතර දිසාපති නිවස පිහිටි භූමිය පෞරාණික ගංගාතිලක රජමහා විහාරය යයි ඒත්තු ගැන්වීමට දක්‌වන ලද සාක‍ෂ්‍ය සතුටුදායක නොවෙතත් දිසාපති මැදුර වෙනත් තැනක ගොඩනැගීමට නම නියම කර ගත් පසු බෞද්ධයන්ගේ ආගමික කටයුතු සඳහා නිදහසේ පාවිච්චි කිරීම පිණිස එය වෙන් කර දීමට ඉතා සන්තෝෂ බවය. අත්සන් කරන ලද්දේ කීකරු සේවක ඊ. එච්. රෙක්‌සි මාටින් ලංකාණ්‌ඩුකාරතුමාගේ ලේකම්.

මාස්‌පතා සුවිශාල ආදායමක්‌ මේ වන විට බෝධි ස්‌ථානයට ලැඛෙමින් පැවතිණි. මෙහි පාලනයට මහා භාරකාරයකු පත්කර එම ආදායමෙන් කොටසක්‌ අවුරුදු පතා ප්‍රාචීන විභාගයට කළුතරට වැඩම කරවන භික්‍ෂූන් වහන්සේගේ දානෝපකරණ සඳහා වෙන් කරන මෙන් 1948 දී පූජ්‍ය හැඩිගල්ලේ විපුලසිරි හිමියන් ඇතුළු පනස්‌නමක්‌ පමණ වූ මහා සංඝයා වහන්සේ ප්‍රධාන ගිහි මහතුන් සමූහයක්‌ විසින් මහා භාරකාරතුමාට පෙත්සම් දෙකක්‌ යෑවීමට කටයුතු කළහ. නමුත් ඒ සඳහා නීතියක්‌ නොමැති බව මහා භාරකාර තැනගේ දැන්වීම විය.

මෙයින් පසුව කළුතර බෝධිය පිළිබඳ ප්‍රශ්නය ඉඩම් කොමසාරිස්‌තුමාට භාර වූ අතර, 1951 වර්ෂයෙන් පසුව සියලු කරුණු විභාග කොට ඒජන්ත බංගලාව නිදහස්‌ කිරීමේ පළමු පියවර වශයෙන් එහි බෞද්ධ පුස්‌තකාලයක්‌ පැවැත්වීමට තීරණය ගන්නා ලදී. එහිදී මේ ස්‌ථානය භාර දිය යුත්තේ කාහට දැයි කළුතර දිසාපතිවරයා මාර්ගයෙන් පරීක්‍ෂණයක්‌ ද පවත්වන ලදී.

මේ වන විට මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් විසින් කළුතර සිරිනිවාසාරාමාධිපති හැඬිගල්ලේ විපුලසිරි හිමියන්ට මේ ස්‌ථානයේ විහාරාධිපති තනතුර හිමි කර දී තිබිණි. මේ සාක්‍ෂි මත විපුලසිරි නායක හිමියන්ගේ මූලිකත්වයෙන් යුත් බෞද්ධ ජනෝපාකාර සමිතියට සම්පූර්ණ පූජා භූමිය පැවරීමට සුදුසු යෑයි දිසාපතිවරයා පිළිගත්තේය. නමුත් එම තීරණය ක්‍රියාත්මක නොවිණි. ඒ වෙනුවට 1952 වසරේදී මහා භාරකාර තැනගේ මූලිකත්වයෙන් භාරකාර මණ්‌ඩලයක්‌ යෝජනා කර ඇත. මෙම භාරකාර මණ්‌ඩලයට විපුලසිරි හිමියන් සමගඟසිවුදෙනකු අයත්ව සිටියේය.

එහෙත් මේ තීරණයන් සෑම එකක්‌ම වෙනස්‌ කරමින්, 1955 වර්ෂයේදී එවකට අගමැතිව සිටි ජෝන් කොතලාවල මැතිතුමාගේ කැමැත්ත ඇතුව කළුතර බෝධිය ඇතුළු සියලු ඉඩම් සිරිල් ද සොයිසා මහතා මූලිකත්වය ගත් 1951 නොවැම්බර් මස 01 දින ආරම්භ කරන්නට යෙදුණු භාරකාර මණ්‌ඩලයකට අනූනව අවුරුද්දකට බදු දීමට කටයුතු සිදුවිය. මේ අනුව ශත වර්ෂ හතකට වඩා වැඩි කාලයක්‌ අන්සන්තකව පැවැති මේ උතුම් ගංගාතිලක විහාර භූමිය නැවතත් බෞද්ධයන්ගෙන් සැදුම්ගත් පිරිසකගේ පාලනයට යටත් විය. ඉන් අනතුරුව මෙම බෝධි ස්‌ථානය පූජා භූමියක්‌ කරලීම දක්‌වා වූ මහත් සංවර්ධන කටයුතු එකින් එක සිදුවිය.

මෙම ඓතිහාසික සටන සඳහා දායක වූවන් බොහෝ ය. එම සටන සිංහල ජාතික ව්‍යාපාරයේ එක්‌ සන්ධිස්‌ථානයකි. එසේම අඛණ්‌ඩ උත්සාහයත්, කැපවීමත් මගින් සිය උරුමයන් දිනා ගන්නේ කෙසේදැයි පෙන්වා දෙන මහගු අවස්‌ථාවක්‌ ලෙසට ද මෙම සිද්ධිය ඉතිහාසගත වෙයි.සිරිල් ද සොයිසා මහතා මෙම ස්‌ථානයේ දියුණුවට කටයුතු කරන ලද්දේ උපක්‍රමශීලීව බව පෙනේ. එසේම මෙම ස්‌ථානයට ඇති ඓතිහාසික උරුමය කියා පෑ පූජ්‍ය හැඩිගල්ලේ විපුලසිරි නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද දශක කීපයක්‌ පුරා අඛණ්‌ඩව ගත් පියවර නොවන්නට බෞද්ධ භාරකාර මණ්‌ඩලයකට පවා මේ ස්‌ථානය අයත් නොවන්නට තිබිණි.

1996 වර්ෂයේදී උන්වහන්සේ අපවත් වන විට ද මේ සටන පිළිබඳව ඓතිහාසික ලේඛන රැසක්‌ සුරැකිව පැවතුණි. වර්තමානයේදී එම විහාරස්‌ථානයෙහි වැඩ සිටින පුජ්‍ය මාරපන විජිත නායක ස්‌වාමීන් වහන්සේ වෙතින් ඒ අතීතය දැන ගත හැකිය. මේ ලේඛන පරීක්‍ෂා කර බලන කල්හි තේරුම් ගත හැක්‌කේ දේශීය පාලකයන් පවා යටත් විජිත ග්‍රහණයට හසු වී බෞද්ධ උරුමය යටපත් කරගෙන සිටි ආකාරයයි.