Gossip Lanka

ආර්ථික තත්වයත් එක්ක මට සමහර වෙලාවට මාව පාවලා දෙන්න සිද්ධ වුණා

වීරයා ගෙදර ඇවිත්,සහෝදරයා,උතුවන්කන්දේ සරදියෙල් ආදී ටෙලි නිර්මාණයන් සිහිපත් වන විට අපිට අමතක කරන්නම බැරි රංගන ශිල්පියෙකුගේ රුවක් අපේ මනසේ ඇදෙනවා. ඔහු නමින් රොෂාන් රවීන්ද්‍ර. රොෂාන් රවින්ද්‍ර කියලා කියන්නේ සාමාන්‍යයෙන් තාරුණ්‍ය ආස කරන ටෙලි නිර්මාණ රැසක්ම විනෝදයෙන් බලන්න පුළුවන් විදිහට දායාද කරපු අපූර්ව රංගන ශිල්පියෙක්.

ඔහු නිතරම කලාව පිළිබඳව අධ්‍යනය කරන කෙනෙක්. කලාව තුළ හැදෑරීමක් නැති නම් මේ ක්ෂේත්‍රයේ රඳා පවතින්න අමාරුයි කියන එක ඔහුගේ මතය. එහෙම දැනුමක් නැති පුද්ගලයෙක් එකපාරට ප්‍රසිද්ධ වුණත් අන්තිමට අතරමග නතර වෙනවා කියලත් ඔහු සඳහන් කළා. ඒ පිළිබඳව වැඩිදුරටත් ඔහු ගේ වචනයෙන් ඔහු අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.

මම ගත්තොත් සෝමලතා සුබසිංහ මහත්මියගේ වැඩමුළුවකට තමයි මුලින්ම ඇතුලත් වුණේ. ජාතික තරුණ සේවා සභාවේ අවුරුදු දෙකක ඩිප්ලෝමාව සම්පූර්ණ කරනවා ඊට පස්සේ. මහේන්ද්‍ර පෙරේරාගේ වැඩ මුලුව පටන් ගන්නෙ මම සහ අපි කීපදෙනෙක්  එකතු වෙලා. අවුරුදු කීපයක් අපි ඒ වැඩමුළුවලට සහභාගී වුණා. ජන කලා කේන්ද්‍රය සුබෝ දිය අනෝජා වීරසිංහ ,අභින කලා ඇකඩමිය  ඒ හැම තැනකම මම ඉඳලා තියෙනවා.

ඒ විදිහට අදහස් දක්වන රොෂාන් රවීන්ද්‍ර සඳහන් කරන්නේ සෑම කෙනෙකුටම ස්වයං අධ්‍යනයක් අත්‍යවශ්‍යයි කියලා. ගොඩක් දෙනෙක් සඳහන් කරන්නේ ආරම්භය ඉඳන් රොෂාන් රවීන්ද්‍ර අලුත්ම නිර්මාණයන් එවගේම හොඳම නිර්මාණයන් එක්ක හිටිය කලාකරුවෙක් කියලා. නමුත් ඔහු ඒ පිළිබඳව අදහස්  දැක්වූයේ මේ අයුරෙන්.

මම කරපු හැම දෙයක්ම හොඳ ඒවා නෙවෙයි. සමහර වෙලාවට මට මාව පාවලා දෙන්න වුණා. මේ ගමනේ අපි ආපහු හැරිලා බලද්දි එකතු කරගත්ත භෞතික දේවල් මට නැහැ. දරුවෝ දෙන්නෙක් ලොකු මහත් වෙලා තියෙනවා හැර ආර්ථිකමය වාසියක් අපේ ජීවිතවල නැහැ. අවශ්‍ය කරන නිර්මාණයක් එනකම් බලාගෙන බලාගෙන ඉඳලා වෙහෙසට පත් වෙලා අතේ සතේ නැති වුණු වෙලාවට මම දන්න එකම වෘත්තිය මේක නේ. එතකොට මට ලැබෙන අවමය ට යන්න සිද්ධ වෙනවා අන්න ඒ තැන්වල මාව හිර වුණා.

ඔහු කලා නිර්මාණයන් පිළිබඳව සහ තමන් දායකත්වය දැක්වූ නිර්මාණයන් පිළිබඳව අදහස් දැක්වූයේ ඒ ආකාරයෙන්. ඇත්ත වශයෙන්ම කලාකාරයෙක් වෙන්න හැම කෙනෙක්ටම බැහැ. එහෙම පුළුවන් වුනොත් තව කෙනෙක්ගෙ මතකයේ රැඳෙන චරිතයක් වෙන්න බැහැ. නමුත් රොෂාන් රවින්ද්‍ර කියලා කියන්නේ තව කෙනෙක්ගෙ මතකයේ රැඳෙන්න පුළුවන් වැඩ කොටසක් නිම කරපු සම්මානනීය රංගන ශිල්පියෙක්.

එනිසාම ඔහුගේ ආදරණීය මාව රොෂාන් ඉන්න තැන පිළිබඳව අද වන විට සතුටු කඳුළු හෙළනවා. ඔහු සඳහන් කරන්නේ අම්මට මාව මොකක් හරි වැඩක් කරන මනුස්සයෙක් කියලා පේනවනම් ඒ ඇති කියලයි. ඉතින් ඉතාමත් හරවත් නිර්මාණයක් රැසක් අපට දායාද කරපු මේ සොඳුරු කලාකරුවාගේ ඉදිරි ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.