මගේ ජීවිතේ කඩන් වැටුනේ දෙවන පුතා රට වෙනුවෙන් ජීවිතය දීපු දවසේ.එදා මම ඇඬුවේ නෑ
සුජාතා අත්තනායක කියන්නේ සිංහල ගීත කලාව තුළ අමතක නොවන මතක සටහන් රැසක් ම රසිකයන්ට දායාද කරපු ආදරණීය ගායිකාවක්.ඇය සිංහල චිත්‍රපටි තුන්සිය පනස් දෙකකට මෙන්ම දමිළ චිත්‍රපටි විස්සකට පමණ පසු බිම් ගීතයෙන් දායකත්වය දක්වපු ආදරණීය කලාකාරිනියක්.ඒ විතරක් නෙවෙයි කැසට් පට අසූ පහකට අධික ප්‍රමාණයක් නිර්මාණය කරමින් වැඩිම කැසට් සංඛ්‍යාවක් හිමි ගායන ශිල්පිනිය විදිහටත් ඇයව ඉතිහාස ගත වුණා.
සුජාතා අත්තනායක මහත්මිය පුංචි කාලේ ඉඳන්ම තමයි කලාවට එන්නේ ඇය ගීත කියන්න එන්නෙ අවුරුදු අටේදී විතර.ඉතින් ඒ අතීතය ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.
“ගෙදර තිබුණු කලා පරිසරයත් එක්ක මටත් නොදැනී මම ගායනයට පිවිසෙන්නේ වයස අවුරුදු අටේදී. එතකොට මම හතර වසරේ ශිෂ්‍යාවක්.ඒ විදිහට සංගීත කටයුතුවලට සම්බන්ධ වුනු මං වයස අවුරුදු දාහතරේදී චිත්‍රපටි පසුබිම් ගායිකාවක් වුනා.මම කොහොමහරි සංගීත අංශයෙන් ඉදිරියට පැමිණෙමින් රජය සංගීත විද්‍යාලයට ඇතුළත් වෙලා වසර හයක පාඨමාලාවක් සාර්ථකව නිම කරලා ගායනය මෙන්ම වාදන විශාදවරියක් බවට පත්වුණා.”
ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය සංගීත ක්ෂේත්‍රයට එන්නේ.ඒ වගේම තමයි සුජාතා අත්තනායක මහත්මිය ට ඉන්නේ පුතාලා ම තුන් දෙනෙක්.හැබැයි අවාසනාවකට ඇය ගේ දෙවැනි පුතා මේ වෙද්දි ජීවතුන් අතර නැහැ.නිතරම ආගම දහමත් එක්ක කාලය ගත කරන ඇය අදටත් අඳින්නේ සුදු වර්ණය සහිත ඇදුම්.මේ සියලුම වෙනස්වීම් සිද්ධ වුණේ ඇයගේ ජීවිත එක්තරා කඩාවැටීමක් නිසයි.ඒ සම්බන්ධයෙන් සුජාතා අත්තනායක මහත්මිය කිව්වේ මේ වගේ කතාවක්.
“මම ජීවිත කඩා වැටුණු දවසක් තියෙනවා නම් ඒ මගේ දෙවැනි පුතා චානක අත්තනායක යුධ හමුදාවේ කපිතාන් වරයෙකු ලෙස සේවය කරමින් සිටියදී රට දැය වෙනුවෙන් ජීවිතය පූජා කරපු දවස විතරමයි.මම එදා ඇඬුවේ ත් නෑ දහම් පොත කියවලා බණ අහලා මා ලබාගෙන තිබූ අවබෝධයෙන් නිසා ඒ දිනයෙ හඬා නොවැටී ඉන්න තරම් ශක්තියක් මගේ හිතේ ඇතිවෙලා තිබුණා. පුතා වෙනුවෙන් පුළුවන් හැම වෙලාවකම පින්දහම් කරමින් බොහොම සැදැහැ සිතින් කිසිම කෙනෙකුට කරදරයක් නොවන විදියට අවසන් හුස්ම පිට වේවා කියන ප්‍රාර්ථනය මම නිතර සිහිපත් කරනවා.”
ඒ ආකාරයෙන් ජීවිතය ගැන අදහස් දක්වන ඇයට තවත් බොහෝ කාලයක් සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ගීත ගායනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.