Gossip Lanka

මම කවදාවත් ඉස්කෝලේ සපත්තු දෙකක් දාගෙන ගිහින් නැහැ හීල් බත් එකක් අරන් ගියේ

සුසන්තිකා ජයසිංහ කියන්නේ ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තැබූ අපිට ඉන්න දක්ෂ ක්‍රීඩිකාවක්. ඇය කොයි තරම් වේගවත් දක්ෂ ක්‍රීඩිකාවක් ද කියනවා නම් ආසියාවේ කළු වෙළබ කියලා තමයි ඇයව හඳුන්වන්නේ. ඉස්කෝලෙ කාලෙ ඉඳන් දිවීමේ ඉසව්වට දක්ෂතාවයක් දක්වපු සුසන්තිකා ජයසිංහට අවසානයට හැකියාව ලැබෙනවා ඔලිම්පික් තරගයක් ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන එන්න.

එදා  මෙදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවුණු ජයග්‍රහණයක් බවට ඒක පත්වුණා. ඉතින් මේ සුන්දර ක්‍රීඩිකාව පසුකාලීන විවාහ ජීවිතයට ඇතුළත් වෙලා ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙන්න වාසනාවන්ත වුණා. මේ විදිහට උත්සාහවන්තව දරුවන් දෙදෙනා හදා වඩා ගන්නා සුසන්තිකා ජයසිංහ පසුගිය දවසක ඇය අතීතයේ ගෙවූ ජීවිතය පිළිබඳව මතකය අවදි කළා.

පාසල් ජීවිතය හරි දුකයි. මම කවදාවත්  අංග සම්පූර්ණ නිල ඇඳුමක් ඇඳලා නැහැ. ඉස්කෝලේ ගියාට කවදාවත් ටයි එකයි බෑග් එකයි දාගෙන සපත්තු දෙකක් දාගෙන මට ඉස්කෝලේ යන්න හම්බ වෙලා නැහැ. කවදාවත් මම ඉස්කෝලේ බත් එකක් ගෙනිහින් නෑ ඉන්ටවල් එකේ කන්න.

ආසයි රස්නෙ බත් එකක් අරන් යන්න.ගොඩක් වෙලාවට රෑට උයන බත් එකෙන් තමයි අම්මා බත් එකක් බැඳලා දෙන්නෙ. සමහර වෙලාවට වට්ටක්කා බණ්ඩක්කා වගේ මාළු තිබුණොත් ඒක පිළුණු  වෙලා. ඒක යාළුවොත් එක්ක මාරු කරන්න බැහැ දවසක් දෙකක් ගිහාම ඒගොල්ලෝ කියනවා සුසන්තිකාගේ කෑම පිළුණු වෙලා කියලා. ඒ නිසා මම යන්නෙත් නෑ. හැබැයි මම පිළුණු වෙච්ච එක පවා කාලා තියෙනවා. කවදාවත් මට දෙයියනේ කියලා බඩේ කැක්කුමක් වත් හැදිලා නැහැ.

තව එකක් තමයි වැහි කාලෙට කුඩයක් නෑ. අපි හබරල අත්ත ඉහලගෙන යනවා බස් එකට  ඒ කියන්නේ අපේ ගේ ගාව ඉඳලා බස් එක ගාවට තියනවා කිලෝමීටර්යක විතර දුර පයින් යන්න. කෙහෙල් අත්තක් හබරල අතක් අරගෙන තමයි යන්නේ. සමහර දාට සෙරෙප්පු දෙකට කට්ටක් ගහගෙන ඉස්කෝලේ යනවා.

මට විෂයන් අටට පොත් අටක් තිබුණෙ නැහැ. සමහර වෙලාවට සිංහල ලියන එකේ බුද්ධාගම ලියලා කියලා ටීචර් පොත විසික් කරලා තියෙනවා. ඒ ටීචර් දන්නව නම් පොතක් නැති නිසා මං මේක කරේ කියල හරියට මම දුක් වෙලා තියෙනවා එහෙම.පහසුකම් ගාස්තු ගෙවලා නෑ කවදාවත්. රුපියල් තුනයි පහසුකම් ගාස්තු. අපි දරුවෝ පස් දෙනෙක්නේ අම්මයි තාත්තයි කුලී වැඩ කරන්නේ ඒ නිසා එයාලට එහෙම දෙන්න තිබුණෙ නැහැ.”

සුසන්තිකා ඇය පාසල් කාලය ගත කරපු ඒ දුෂ්කර ජීවිතය පිළිබඳව ඒ විදිහට තමයි අදහස් ඉදිරිපත් කළේ. නමුත් අද වන විට ඇගේ දරුවන් දෙදෙනාට කිසිම දුකක් නැතිව ජීවත් වෙන්න ඇය වටපිටාව හදලා. එනිසාම උතුම් මවක් විදිහට ඒ කාර්යභාරයන් සාර්ථකව ඉටුකරන මේ සුන්දර කාන්තාවට දිනෙන් දිනම ජීවිතය ජයගන්නට ශක්තිය  ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.